உலகம்

ගෝලීය වසංගතය හේතුවෙන් කාන්තා ගෘහමූලික පවුල්වල අරගලය සංකීර්ණ වෙයි

මේ වන විට 45 වියේ පසුවන තිදරු මවක වන තර්ශනීගේ සැමියා සිවිල් යුදගැටුම හේතුවෙන් මියගියේ වසර 15කට පෙරයි. පසුගිය වසරේදී ආරම්භ වූ කොවිඩ්-19 වසංගතය හා ඒ සම්බන්ධ සමාජ සම්බාධක නිසා කුකුළු ගොවිපළෙන් ඇය ලැබූ ආදායම පහළ වැටුණා. ඇගේ වැඩිමහල්ම දියණිය තමයි පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නිය වුණේ. ඇයට දෛනික රැකියා සොයාගන්නට බැරි වුණා.

“ලොක්ඩවුන් කාලෙ අපට අසල්වැසියන්ගෙන් ණය ඉල්ලාගන්නට සිදුවුණා,” යි තර්ශනී (සත්‍ය නම නොවේ) පැවසුවා. “ආහාර වෙනුවෙන් මුදල් හොයාගන්නට අපට සටනක් කරන්නට සිදුවුණා. මගේ පුතා දිනපතා පාසල් ගියේ උදේ ආහාරයක් නැතුවයි. එයාට අධ්‍යාපනය ඉදිරියට ගෙනයන්නට බැරිවෙයි කියලා මං බයවුණා.”

තර්ශනීගේ කතාව ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය කතාවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ නිවාසවලින් 25.8%ක් හෙවත් ලක්ෂ 14ක් පවුල්වල ගෘහමූලිකයන් වන්නේ කාන්තාවන්. ඒ ගෘහමූලික කාන්තාවන්ගෙන් අඩකට වඩා වැන්දඹුවන්. රටේ නිවාසවලින් දහයෙන් එකකම ගෘහ මූලිකයන් වන්නේ කාන්තාවන්. ඒ අතරින් බොහෝදෙනෙකුගේ ස්වාමිපුරුෂයන් 1983 සිට 2009 දක්වා පැවති සිවිල් යුදගැටුම හේතුවෙන් මිය ගිහින්.

“කාන්තාවන්ගේ ජීවනෝපාය වේගයෙන් අහිමිවෙමින් තිබෙනවා. එය පිරිමින් මුහුණදෙන තත්වයට වඩා වැඩියි,” යි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ දේශීය නියමුවරිය වන රමායා සල්ගාදු පවසනවා. “එයට හේතුව වන්නේ ඔවුන්ට ජීවත් වන්නට සිදු වී තිබෙන්නේ දරුණු ආර්ථික අර්බුදයක් මැද වීමයි. ඔවුන්ට සමාජ ආරක්ෂාව සඳහා තිබෙන්නේ සීමිත ප්‍රවේශයක්. එසේම, වැටුප් නොලැබෙන සත්කාර කටයුතු හා පවුලේ වැඩකටයුතු හේතුවෙන් ඔවුන් පීඩාවට පත්වෙනවා. කාන්තා ගෘහ මූලිකයන් හට විශේෂයෙන් දෙගුණයක් බර පැටවෙනවා. පවුලේ එකම ආදායම් උපයන්නිය වන ගමන්ම ඇයට යැපෙන්නන් රැකබලාගන්නටත් සිදුවෙනවා,” යි ඇය පැවසුවා.

“අර්බුද තත්වයන්හිදී කාන්තා ගෘහ මූලිකයන්ගේ දරාගැනීමේ හැකියාව තහවුරු කිරීම සඳහා සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් දිගුකාලීන ආයෝජන අවශ්‍යයි. එබැවින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම කොවිඩ්-19 ප්‍රතිචාර හා ප්‍රතිසාධන ක්‍රියාමාර්ගවලදී මූලික විය යුතුයි.”

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ (UN Women) ප්‍රකාශනයක් වන ‘කොවිඩ්-19 හමුවේ ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය (Gender Equality in the Wake of COVID-19)’ අනුව, කොවිඩ්-19 අර්බුදයෙන් ගොඩඒම සඳහා වන ක්‍රියාමාර්ග තුළ, අවදානමට මුහුණදෙන කාන්තාවන් වෙනුවෙන් ආර්ථික ආධාර පැකේජ හඳුන්වාදීමේ හදිසි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අඩංගු විය යුතුයි.

ශ්‍රම වෙළඳපොළේ අසමානතාව දුරුකිරීම අන් කිසිදු කලකටත් වඩා දැන් හදිසි අවශ්‍යතාවක් වී තිබෙන බව එම ප්‍රකාශනයේ වැඩිදුරටත් අවධාරණය කරනවා. වෘත්තීන් ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදීම, ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයන් හා සාධාරණ ගාස්තු යටතේ ළමා සත්කාර සේවා ලබාගත නොහැකි වීම වැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි. සමාජ ආර්ථික බලපෑම් පිළිබඳ දත්ත මෙන්ම වැඩිදියුණු කරන ලද හා යාවත්කාලීන කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ දත්ත එක්රැස්කිරීමේ පද්ධති විවිධ කාන්තා කණ්ඩායම්වලට වසංගතයෙන් සිදුවන බලපෑම තේරුම්ගැනීමේදී ඉතා වැදගත් වෙනවා.

පසුගිය වසරේදී, ඕස්ට්‍රේලියා රජයේ ආධාරයෙන් (DFAT), එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය (UN Women) දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වන විලුදු (Viluthu) සමග එකතුව කාන්තා ගෘහමූලික පවුල් 1,300කට දෛනිකව අවශ්‍ය වන වියළි ආහාර ඇතුළත් හදිසි සහන ද්‍රව්‍ය කට්ටල ලබාදීම සඳහා උපකාර කළා.

තර්ශනී හදිසි සහන ද්‍රව්‍ය කට්ටල ලැබුණු එක් ප්‍රතිලාභියෙක්. “ඉදිරි මාස කීපය  සඳහා ප්‍රමාණවත් තරම් සැපයුම් තිබෙනවා. දැන් මට මගේ පුතාගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ඉතිරිකරගන්නට පුළුවන්,” යි ඇය පවසනවා.

ජීවිතයේ සියලු කලාපයන්හිදී කාන්තාවන්ගේ සම සහභාගීත්වයට බාධා කරන පද්ධති බාධක ඉවත්කිරීම ඉලක්ක කරගත් ඓතිහාසික බීජිං ප්‍රකාශනයේ ක්‍රියාමාර්ග වේදිකාවට 2020 වසරේදී 25 වසරක් සපිරුණා. කාන්තා ගෘහමූලික පවුල්වල තර්ශනී වැනි ගෘහමූලිකයන්ගේ  ආර්ථික සවිබලගැන්වීම තහවුරු කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය බව නැවත මතක් කිරීමට කොවිඩ්-19 ඉවහල් වුණා. ශ්‍රී ලංකාවේත්, ලෝකය පුරාමත් කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙනුවෙන් කරනු ලබන අනාගත ආයෝජන ඒ වෙනුවෙන් අවශ්‍යයි.

 

Hot Topics

Related Articles